2025 වර්ෂයට අදාලව පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තු පැනවීම.
වර්ෂ 2000 අංක 53 හා 1988 අංක 56 දරණ පනත් වලින් සංශෝධිත 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනත හා ඒ යටතේ පනවන ලද රෙගුලාසි වලට අනුකූලව අංක 2264/18 දරණ වර්ෂ 2022 ක් වූ ජනවාරි මස 27 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ ඈ කොටසේ නියමිත ව්‍යාපෘති ලෙස ප්‍රකාශිත පහත සඳහන් ක්‍රියාකරකම් සම්බන්ධයෙන් මෙහි උප ලේඛනයේ සඳහන් කර්මාන්ත සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබාගත යුතු බවට 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 9.3 වගන්තිය ප්‍රකාරව රඹුක්කන ප්‍රාදේශීය සභාවේ බලතල හා කාර්යය කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේ නිලධාරියා ලෙස 2024 ඔක්තොම්බර් මස 23 වන දින ලේකම් තීරණ අංක 21 යටතේ මම තීරණය කරන ලද බව බල ප්‍රදේශයේ ජනතාව වෙත මෙයින් නිවේදනය කරනු ලැබේ.
තවද එකී කර්මාන්තය සඳහා බලපත්‍ර ගාස්තු නිකුත් කිරීමට පෙර එම කර්මාන්තය සඳහා යොදාගෙන ඇති මූලික ආයෝජන ප්‍රමාණය පදනම් කරගෙන පහත පළමු උප ලේඛනයේ සඳහන් අයුරින් පරීක්ෂා කිරීමේ ගාස්තු හා ඊට අදාළ බදු මුදල් ගෙවිය යුතු බව මෙයින් දැනුම් දෙනු ලැබේ.
උප ලේඛනය 1
පරීක්ෂණ ගාස්තුව (වර්ෂ තුනටම අදාළව)| මූලික ආයෝජන මුදල | අයකරන ගාස්තුව |
|---|---|
| රු. ශත | |
| රු.250,000.00 හෝ ඊට අඩු | 3000.00 |
| රු.250,001.00 හෝ රු.500,000.00 දක්වා | 3750.00 |
| රු.500,001.00 හෝ රු.1,000,000.00 දක්වා | 5000.00 |
| රු.1,000,000.00 හෝ ඊට වැඩි | 10,000.00 |
පරිසර බලපත්‍ර ගාස්තුව රු.4500.00ක් හා ඊට අදාළ බදු මුදල 10%ක් සමඟ බලපත්‍ර ගාස්තුව රු.4950.00ක් වසර 3ක් හෝ ඊට අඩු කාලයක් සදහා අයකිරීම.
පාරිසරික ආරක්ෂණ බලප අයදුම්පත
උප ලේඛනය 2
පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබාගත යුතු ක්‍රියාකාරකම්
- සේවක සංඛ්‍යාව 10ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සේවයේ යෙදෙන ඉටිපන්දම් නිෂ්පාදිත කර්මාන්ත
- සේවක සංඛ්‍යාව 5ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින බතික් කර්මාන්ත
- සේවක සංඛ්‍යාව 5ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින වාණිජ මට්ටමේ රෙදි සෝදන ස්ථාන (ලොන්ඩ්රි)
- රෙදි වියන යන්ත්‍ර/මැෂින් 10 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සහිත අත් යන්ත්‍ර පෙහෙකම්හල් හෝ ගෙතීමේ හෝ එම්බ්‍රොයිඩර් කිරීමේ කර්මාන්ත
- දිනකට ලීටර් 200 කට අඩු නිෂ්පාදන ධාරිතාවයක් සහිත වාණිජ මට්ටමේ පොල්තෙල් නිස්සාරණය කිරීමේ කර්මාන්ත
- පොල්තෙල් හා ආයුර්වේද තෙල් නිස්සාරණය කිරීමේ කර්මාන්ත හැර දිනකට ලීටර් 10 කට අඩු නිෂ්පාදන ධාරිතාවයක් සහිත වාණිජ මට්ටමේ ශාක තෙල් නිස්සාරණය කිරීමේ කර්මාන්ත
- දිනකට ලීටර් 100 කට අඩු නිෂ්පාදන ධාරිතාවයක් සහිත මධ්‍යසාරමය නොවන බීම වර්ග නිෂ්පාදනය කිරීමේ හෝ බෝතල් ගත කිරීමේ කර්මාන්ත
- දිනකට කිලෝග්‍රෑම් 500 ක් හෝ ඊට වැඩි නිෂ්පාදන ධාරිතාවක් සහිත වියළි සැකසුම් ක්‍රියාවලි සහිත වී මොල්
- මාසික නිෂ්පාදන ධාරිතාවය කිලෝග්‍රෑම් 1000 කට අඩු වන ඇඹරුම්හල්
- සේවක සංඛ්‍යාව 10ක් හෝ ඊට වැඩි සහ 25 ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින දුම්කොළ වේලීමේ කර්මාන්ත හෝ දුම්වැටි හෝ දුම්කොළ ආශ්‍රිත වෙනත් නිෂ්පාදන කර්මාන්ත
- එක් තොගයකට කිලෝග්‍රෑම් 250 හෝ ඊට වැඩි යෙදවුම් ධාරිතාවක් සහිත සල්ෆර් දුම් ගැසීම සහිත කුරුදු දුම් ගැසීමේ කර්මාන්ත
- සේවක සංඛ්‍යාව 5 ට වැඩි පිරිසක් සේවයේ නියුක්තව සිටින ආහාරයට ගන්නා ලුණු ඇසුරුම් කිරීමේ සහ සැකසුම් කිරීමේ කර්මාන්ත
- සේවක සංඛ්‍යාව 5 ට වැඩි පිරිසක් සේවයේ නියුක්තව වාණිජමය තේ මිශ්‍ර කිරීමේ /මුහුවම් කිරීමේ කර්මාන්ත
- සේවක සංඛ්‍යාව 5 හෝ ඊට වැඩි සහ 10 ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින ආහාර නිෂ්පාදනය කිරීමේ හෝ සකස් කිරීමේ කර්මාන්ත
- දිනකට පිටි කිලෝග්‍රෑම් 250 ට අඩු ප්‍රමාණයක යෙදවුම් ධාරිතාවයක් සහිත වාණිජ මට්ටමේ බේකරි සහ රසකැවිලි නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත
- ඕනෑම අවස්ථාවක වැඩුනු පක්ෂීන් 100ක් හෝ ඊට වැඩි සහ 500 ට අඩු සංඛ්‍යාවක් සිටින කුකුළු ගණයේ පක්ෂී ගොවිපලවල්
- ඕනෑම අවස්ථාවක වැඩුනු සතුන් 05 ක් හෝ ඊට වැඩි සහ 10 ට අඩු සංඛ්‍යාවක් සිටින ඌරු හෝ ගව ගොවිපලවල්
- ඕනෑම අවස්ථාවක වැඩුනු සතුන් 25 ක් හෝ ඊට වැඩි සහ 50 ට අඩු සංඛ්‍යාවක් සිටින එළු ගොවිපලවල්
- ඕනෑම වැඩුනු සතුන් මුළු එකතුව 100 ක් හෝ ඊට වැඩි සහ 500 ට අඩු සංඛ්‍යාවක් සිටින මිශ්‍ර ගොවිපලවල්
- ගබඩා ධාරිතාවය ඝණ මීටර් 100 ක් හෝ ඊට වැඩි පළතුරු හෝ එළවළු හෝ මාංශ හෝ වෙනත් ආහාර ද්‍රව්‍ය ගබඩා කරන ස්ථාන
- කොන්ක්‍රීට් පෙරසවි කර්මාන්ත
- යන්ත්‍රානුසාරයෙන් සිමෙන්ති බ්ලොක්ගල් නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත
- දිනකට මෙට්‍රික් ටොන් 20 ට අඩු නිෂ්පාදන ධාරිතාවක් සහිත හුණු පෝරණු
- සේවක සංඛ්‍යාව 5 කට වැඩි ප්‍රමාණයක් සේවයේ නියුක්තව සිටින ප්ලාස්ටර් ඔෆ් පැරිස් අමු ද්‍රව්‍ය වශයෙන් යොදාගන්නා ඕනෑම කර්මාන්තයක්
- සියලු බෙලිකටු ඇඹරීමේ කර්මාන්ත
- උළු සහ ගඩොල් කර්මාන්ත
- වීදුරු ද්‍රව කිරීමේ ක්‍රියාවලිය රහිතව වීදුරු භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත
- කළුගල් කැපීමේ සහ ඔප දැමීමේ කර්මාන්ත
- පුපුරණ ද්‍රව්‍ය භාවිතා කර එක් බෝර වලක් බැඟින් පුපුරවමින් සිදු කරනු ලබන ශිල්පීය කැණීම් කටයුතු
- දිනකට ඝණ මීටර් 25 ට අඩු ඉතුරුම් ධාරිතාවයක් සහිත ලී මෝල් හෝ සේවක සංඛ්‍යාව 05 හෝ ඊට වැඩි සහ 10 ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින දැව ආශ්‍රිත කර්මාන්ත
- දැව පදම් කිරීම සඳහා බෝරෝන් පිරියම් ක්‍රමය භාවිතා කරන කර්මාන්ත
- බහු කාර්ය වඩු කාර්මික යන්ත්‍ර භාවිතා කරන වඩු කර්මාන්ත
- සේවක සංඛ්‍යාව 05 හෝ ඊට වැඩි සහ 10 ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින නේවාසික පහසුකම් රහිත හෝටල් හෝ අවන්හල් හෝ උත්සව ශාලා හෝ සේවක සංඛ්‍යාව 10 ක් හෝ ඊට වැඩි සහ 20 ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින ආහාර පිළියෙල කිරීමේ ස්ථාන හෝ ආහාර සැපයීමේ සේවා
- පදිංචි සංඛ්‍යාව දිනකට 25 ක් හෝ ඊට වැඩි සහ 100 ට අඩු පුද්ගලයින් ප්‍රමාණයක් සිටින නේවාසිකාගාර හෝ එවැනි ලැගුම්හල්
- විසිරි පින්තාරු කිරීම හෝ වාහන වායු සමීකරණ යන්ත්‍ර අලුත්වැඩියා කිරීම්, නඩත්තු කිරීම් හෝ සවි කිරීම් සිදු නොකරන වාහන අලුත්වැඩියා කිරීමේ හෝ නඩත්තු කිරීමේ කටයුතු සිදු කරන ගරාජ
- වාහන සේවා කටයුතු සිදු නොකරන කන්ටේනර් බහාලු පර්යන්ත
- ඊයම් උණු කිරීම සිදු කිරීම ඇතුළත් නොවන මුද්‍රණාල සහ අකුරු මුද්‍රණය කිරීමේ යන්ත්‍ර
- මෘත ශරීර කල් තබා ගැනීමට සකස් කිරීම සහිත මල් ශාලා
- මෙම උප ලේඛනයේ ඈ කොටසේ ඇතුලත් නොවන එක් වැඩ මුරයකට සේවක සංඛ්‍යාව 10 හෝ ඊට වැඩි සහ 50 ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින ඕනෑම ක්‍රියාකාරකමක්/කර්මාන්තයක්
ප්‍රාදේශීය සභාව මගින් පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම
01 පියවර
නියමිත එක් කටයුත්තක් සඳහා නිසි ලෙස සම්පූර්ණ කරන ලද තනි පරිසර ආරක්ෂණ බලපත්‍ර අයදුම්පතක් බැගින්, පහත දක්වා ඇති ලිපිලේඛන වල පිටපත් සමග අදාළ ආයතන වෙත ලබා දිය යුතුයි.
- ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ සහතිකය
- අදාළ කර්මාන්තය සඳහා ඉඩම භාවිතා කිරීම සඳහා වන නෛතික අවසරය (ඔප්පුවෙහි පිටපත,බදු ගිවිසුමෙහි පිටපත ආදී වශයෙන්)
- අදාළ කර්මාන්තය එම භූමියේ ස්ථාපිත කිරීම සඳහා වන නෛතික අවසරය (අදාළ පළාත් පාලන ආයතනය මගින් ලබා ගත් අනුකූලතා සහතිකය/ වෙළෙඳ බලපත්‍රය හෝ ලබා ගත් අදාළ වෙනත් ආයතනවල පූර්ව අනුමැතීන් )
- අදාළ ආයතන මඟින් ඉදිරිපත් කරන ලෙස දන්වා සිටිනු ලබන වෙනත් ලේඛනයක් හෝ විස්තරයක්
02 පියවර
- අයදුම්පත පූර්ව පරීක්ෂාවට ලක් කිරීම
03 පියවර
- අය කළ යුතු පරීක්ෂණ ගාස්තුව තීරණය කිරීම සහ අය කිරීම
04 පියවර
- ක්ෂේත්‍ර පරීක්ෂාව සිදු කිරීම
05 පියවර
- නිර්දේශ සහිත පරීක්ෂණ වාර්තාව ඇගයීම
06 පියවර
- පරිසර ආරක්ෂණ බලපත්‍රය නිකුත් කිරීම
- බලපත්‍රය ලබාදීම නිර්දේශ කර ඇත්නම් බලපත්‍ර ගාස්තුව ගෙවන ලෙස අදාළ ආයතන විසින් කර්මාන්තකරුට දැනුම්දෙන අතර, පරීක්ෂණ වාර්තාවේ නිර්දේශ මත පදනම්ව, කොන්දේසි හා වලංගු කාලසීමාව සඳහන් කර අදාළ කර්මාන්තය වෙත පරිසර ආරක්ෂණ බලපත්‍රය නිකුත් කිරීම කරනු ලැබේ
07 පියවර
- පරිසර ආරක්ෂණ බලපත්‍රය අලුත් කිරීම
- පරිසර ආරක්ෂණ බලපත්‍රය අවලංගු වන දිනට මාස 3 කට ප්‍රථම හා සැපයූ තොරතුරුවල යම් වෙනස්කමක් හෝ ක්‍රියාකාරීත්වයේ යම් වෙනසක් සිදු කිරීමට ප්‍රථම, පරිසර ආරක්ෂණ බලපත්‍රය අලුත් කිරීමේ අයදුම්පත්‍රය අදාළ ආයතන වෙත යොමු කළ යුතුය. බලපත්‍රය අලුත් කිරීමේ ක්‍රියාවලියේ දී පරීක්ෂණ ගාස්තුවක් ගෙවිය යුතුව ඇත. පරීක්ෂා කිරීමේ දී අදාළ කර්මාන්ත / ක්‍රියාවලීන් පරිසර ආරක්ෂණ බලපත්‍රයේ කොන්දේසි උල්ලංඝනය කර තිබේ දැයි විශේෂයෙන් අවධානය යොමු කරන අතර, උල්ලංඝනය වී ඇත්නම් දෙනු ලබන කාලසීමාවන් තුළ එය නිවැරදි කිරීමෙන් පසුව, බලපත්‍රය අලුත් කරනු ඇත.
https://www.cea.lk/web/si වෙත පිවිසීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.